නොරොච්චෝලේට තවත් අලුත්වැඩියාවක්

9:54 AM
ඕනෑම හදිසි සංවේදීතාවයකට ඔරොත්තු දිය හැකි පරිදි නොරොච්චෝලේ විදුලි බලාගාරය අලුත්වැඩියා කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ මීට පෙර ඇතිවූ කිසියම් හදිසි තත්වයකදී නොරොච්චෝලේ බලාගාරයේ පද්ධති තුනම එකවර කි‍්‍රයා විරහිත වූ බවයි. කෙසේවෙතත් පවතින තත්වයන් සැලකිල්ලට ගෙන බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදු කළ බව සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළා. බලාගාරයේ සිසිලන පද්ධතිය නවීකරණය කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ඒ මහතා අවධාරණය කළා.

මේ අතර ඉකුත් දා සිදුවූ විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් සහ නොරොච්චෝලේ බලාගාරය හදිසියේ අක‍්‍රිය වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහනුවර පැවති ජන හමුවකදී අදහස් දැක්වූවා. එහිදී හෙතෙම සඳහන් කළේ නොරොච්චෝලේ මේ වන විට නොතිබුණේ නම් රටේ සාමාන්‍ය පරිදි පැය 08 ක් 10 ක් විදුලිය කප්පාදු කරමින් සිටින බවයි. ඉකුත් අවුරුදු 10 තුළ රටේ ජනතාව විදුලි කප්පාදුවක් පිළිබඳව අසා තිබුණේද නැති බවත් සඳහන් කළා.

මේ අතර ඉකුත් කාලසීමාවේදී කුඩා පරිමාණ ජල විදුලිබලාගාරවලින්ද විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගනු ලැබුවා. කෙසේවෙතත් පවතින වියලි කාළගුණ තත්වය යටතේ එම බලාගාරවල විදුලිය නිෂ්පාදනයද අඩුවී තිබෙනවා. එම නිසා එම බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමද ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.
ගාල්ල, මාතර සහ බළන්ගොඩ යන ප‍්‍රදේශවල ඊයේ (23) සිදුවූ විදුලි බිඳවැටීම ටික වේලාවක් ඇතුළත යළි යථා තත්වයට පත් කෙරුණා. විදුලි බිඳවැටීමට හේතුව වී තිබුණේ බළන්ගොඩ විදුලි උපපොල වෙත විදුලිය සැපයෙන රැහැන් මාර්ගයේ ඇති වූ හදිසි තත්ත්වයක්. මෙම විදුලි බිඳ වැටීමත් සමග කොළඹ නගරයේ ඇතැම් ප‍්‍රදේශවලට විදුලි සැපයුම සිදු කෙරුණේ අඩු වෝල්ටීයතාවයක් යටතේයි.

කෙසේවෙතත් ඉකුත් දා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග මාධ්‍යට අදහස් දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේ නොරොච්චෝලේ බලාගාරය සක‍්‍රීයව පවතින අවස්ථාවක බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව විදුලි බලය ලබා දීමේ හැකියාවක් පවතින බවයි.

Share this

Related Posts

Previous
Next Post »