ලංකාවේ රතු නිවේදන නිකුත් කල තුනෙන් එකක් තායිලන්තයේදී අත්අඩංගුවට

10:06 AM
මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රතු නිවේදනයක් නිකුත් කර සිටි ප‍්‍රධාන පෙළේ තවත් හොරොයින් ජාවාරම්කරුවෙකු තායිලන්තයේ බැංකොක් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු වසන්ත මෙන්ඩිස් නමැත්තෙක්. ඔහු මොරටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද අනාවරණ වී තිබෙනවා. අදාළ රතු නිවේදනය නිකුත් කර ඇත්තේ 2013 වසරේදීයි.

හෙරොයින් ජාවාරමට සම්බන්ධ බව කියන තවත් තුන් දෙනෙකුට ද එහිදී රතු නිවේදන නිකුත් කෙරුණා. කෙසේ වෙතත් ඔවුන් කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.

වසන්ත මෙන්ඩිස් නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ තායිලන්ත ආරක්ෂක අංශ විසින්. වැඩිදුර විමර්ශන සඳහා ඔහු ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි. මෙම සැකකරුට අයත් දේපළ ද අධිකරණ නියෝගයක් අනුව මේ වන විට තහනම් කර තිබෙනවා.

අදාළ හෙරොයින් ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණ වූයේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු ලයිබීරියානු ජාතිකයෙකුගෙන්.

රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රයක් යොදාගනිමින් හෙරොයින් ද රැගෙන ශ‍්‍රී ලංකාවෙන් බැහැරව යාමට උත්සහ කිරීමේදී මෙම ලයිබීරියානු ජාතිකයා අත්අඩංගුවට ගැනුණා.

ඔහු ළඟ තිබූ හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 30කට ආසන්නයි. පසුව තවත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 10ක් සොයා ගැනුණා.

වැඩිදුර විමර්ශනවලදී හෙළි වූයේ මෙම ලයිබීරියානු ජාතිකයා සතුව තිබූ රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍ර ව්‍යාජ එකක් බවයි.

වසන්ත මෙන්ඩිස් නමැත්තා සහ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රතු නිවේදන නිකුත් කෙරුණු අනෙක් තුන්දෙනා ද ඔහු සමග හෙරොයින් ජාවාරමේ යෙදී සිටින අය බවද හෙළි වී තිබෙනවා.

Share this

Related Posts

Previous
Next Post »