විදුලි සංදේශ බදු සංශෝධන පනත් කෙටුම්පත ඉවත්වේ

11:05 AM
2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ  (06) ප්‍රකාශ කළා. අදාළ විදුලි සංදේශ බදු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වී ඇති පෙත්සමේ පිටපතක් කථානායකවරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. ඉන් අනතුරුව මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටි අතර එහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ එම පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගත් බවයි.

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලි සංදේශ බදු පනත් කෙටුම්පත දෝෂ සහිත බව සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි විසින්. අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එය ඊයේ විභාගයට ගැනුනා.

විදුලි සංදේශ බදු පනත් කෙටුම්පතේ පවතින සම්බන්ධක ගැටළු නිසා ග්‍රාහකයන්ට දෙවරක් බදු ගෙවීමට සිදුවන බව පෙත්සමෙන් ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලිපියක් ඉදිරිපත් කළා.

එහි මුදල් අමාත්‍යවරයාගේ නියෝග පරිදි විදුලි සංදේශ බදු පනත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදුකළ දැනුම්දීම පිළිබඳ කරුණු ඇතුළත්.

මෙම විදුලි සංදේශ බදු සංශෝධන පනත් කෙටුම්පතෙහි පළමු වගන්තියේ සඳහන් වන පරිදි 2015 අප්‍රේල් පළමුවනදා සිට අදාළ බදු සංශෝධන ක්‍රියාත්මක විය යුතුයි. එහි ආරම්භයේ දැක්වෙන්නේ 2014 ජනවාරි පළමුවන දින හෝ ඉන් පසුව ආරම්භවන, එහෙත් 2015 අප්‍රේල් පළමුවන දිනට පෙර අවසන් වන කාලය සඳහා අන්තර්ජාල සේවා සැපයුම් අගය මත සියයට 10 ක බද්දක්ද, අන්තර්ජාල සේවා සැපයුම් නොවන විදුලි සංදේශ සේවා සැපයුම් මත සියයට 25 ක බද්දක්ද අය කරන ලෙසයි. එහෙත් අප්‍රේල් 1 වනදායින් පසු පෙරගෙවුම්  සහ පසු ගෙවුම් යන සේවා දෙක මෙන්ම අන්තර්ජාල සේවා සැපයුම් මත සියයට 10 ක බද්දක් අය කරන බව එහි සඳහන්. එසේම පසු ගෙවුම් සේවා සඳහා අන්තර්ජාල සේවා සැපයීම් නොවන විදුලි සංදේශ සේවා සැපයුම් මත සියයට 25 ක බද්දක් අය කරන බවද මෙම විදුලි සංදේශ බදු සංශෝධන පනත් කෙටුම්පතේ සඳහන් වුණා.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශවයන් ප්‍රකාශ කර තිබුණේ අදාළ යෝජනා මගින් ග්‍රාහකයන්ට දෙවරක් බදු ගෙවීමට සිදුවන බවයි.  

(hiru News)

Share this

Related Posts

Previous
Next Post »