මෙරට අපරාධ විනිශ්චයට ජාත්‍යන්තර නීති අවශ්‍ය නැහැ

9:41 AM
ශ්‍රී ලංකාව පිළිබඳ ජිනිවා වාර්තාවෙන් නිර්දේශ කර ඇති දෙමුහුන් අධිකරණ සංකල්පය අනුමත කරමින් සකස් කර ඇති ඇමරිකානු යෝජනාවට ශ්‍රී ලංකාව විරෝධය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ඇමරිකානු යෝජනාව පසුගිය සිකුරාදා ජිනිවා නුවර මානව හිමිකම් සැසි වාරයේදී සාමාජික රටවල් අතර බෙදා හැර ඇති බව සඳහන්. ඒ සම්බන්ධයෙන් නිළ නොවන මට්ටමේ සාකච්ඡාවක් ජිනිවා මානව හිම්කම් මණ්ඩලයේදී ඊයේ (21) පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ එක්සත් ජනපද නියෝජිත කාර්යාලයයි. මෙරට ඇමරිකානු තානාපති අතුල් කේශප් ද ඊට සහභාගි වී තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ප්‍රකාශ කළේ මෙම යෝජනාව පූර්ව විනිශ්චයන් සහ යුද වන්දි අපේක්ෂාවන් මත විධානශීලී ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇති බවයි. එය දැනට මෙරට ක්‍රියාත්මක සංහිදියා සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිරිගන්වන යෝජනාවක් නොවන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. එය රජයේ සංහිදියාව ක්‍රියාවලියට සහාය නොවන අතරම ජන කොටස් අතර දුරස්ථබවක් ඇති කිරීමට හේතු වනු ඇති බවත් ජිනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

යෝජනාව පිළිබඳ ඍණවාදී අර්ථදැක්වීම් සංහිදියා ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට අපේක්ෂා කරන කණ්ඩායම්වලට දර දිය සපයනු ඇති බවයි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වැඩිදුරටත් කියා සිටියේ. විශේෂයෙන් අපරාධ විනිශ්චයන් පිළිබඳව යෝජනාවෙන් දක්වා ඇති කරුණු හේතුවෙන් එය අසමබර වී ඇති බව ඔහු පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාව මෙලෙස අදහස් විමසීම්වලින් අනතුරුව අනිද්දා දිනයේ මානව හිමිකම් මණ්ඩලය සැසි වාරය වෙත නිළ වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි. 

(hiru news)

Share this

Related Posts

Previous
Next Post »