විමර්ශන වාර්තාව පිළිගන්න - දෙමළ සන්ධානය සියලු පක්ෂවලින් ඉල්ලයි

3:02 PM
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කරන ලද විමර්ශන වාර්තාව පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් සහ සියලූම පක්ෂ වලින් දෙමළ ජාතික සන්ධානය ඉල්ලීමක් කරයි.

අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු තම පක්ෂය සාදරයෙන් පිළිගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය පවසයි.

වාර්තාව තුළ අන්තර්ගත වැදගත්ම කරුණ ලෙස ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ මිශ්‍ර අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට වන නිර්දේශය සැලකිය හැකි බව ඔවුන් පෙන්වාදෙයි.

යුධමය වාතාවරණය පැවති සමයේ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී මෙවැනි ක්‍රියාමාර්ග ගතයුතු බවට තම පක්ෂය නිරන්තරයෙන් ප්‍රකාශ කර තිබූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

මේ අතර පසුගියදා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගිය කාලයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ බිඳුණු පොරොන්දු සිහිපත් කරමින් නව රජය යටතේ එම තත්ත්වය වෙනස් කර නව යුගයක් ඇතිකරන බවට ප්‍රකාශයක් ලබාදුන් බව ද ඔවුන් පවසයි.

මෙම ප්‍රකාශය සනාථ කිරීමට නම් මානව හිමිකම් වාර්තාව පිළිගෙන එහි නිර්දේශ ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය කියයි.
(adaderana)

Share this

Related Posts

Previous
Next Post »