පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා දිවයිනට

11:40 AM
පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා (04) දිවයිනට පැමිණෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ආරාධනයට අනුව පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බවයි.

අනිද්දා පස්වරු 2.00ට පමණ නවාස් ෂරීෆ් මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණෙනු ඇති. ඔහු පළමුව හමුවන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතායි. ලබන 5 වෙනිදා පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වෙනවා. එහිදී දෙරටේ දේශපාලන, ආර්ථික, වෙළෙඳ හා සංස්කෘතික යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකෙරෙනු ඇති. ඊට අමතරව නවාස් ෂරීෆ් මහතා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි.

පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 10කට අත්සන් තැබීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ.

Share this

Related Posts

Previous
Next Post »