මංජුලා ඉස්සර වෙලාම කියන්න... ඔයා අම්මා කෙනෙක් වුණ දවස. එහෙමත් නැත්නම් ඔයාගේ පුතා ඉපදුන දවස...?
”මගේ පුතා ඉපදුනේ ජූලි මාසේ පළවෙනිදා. ඒ තමයි මගේ ජීවිතය වැඩියෙන්ම වාසනාවන්ත දවස.”
මොකක්ද පුතාට දාපු නම?
”තාම නමක් දැම්මේ නෑ. තව ටික දවසකින් එයාගේ වෙලාව එහෙම බලලා, ගැලපෙන සුබ අකුරකින් නම දානවා. එතකම් එයා මගේ රත්තරං පුතා තමයි.....”
සමහරු නම් දරුවෝ ඉපදෙන්න කලින් ඉඳලාම දාන නම් හදාගෙනයි ඉන්නේ. ඔයා එහෙම දේවල් කරගත්තේ නැද්ද?
”එහෙම බෑනේ. එයා උපන් නැකතට අනුව.... එයාට සුදුසු අක්‍ෂරයකින්නේ නමක් දාන්න ඕනේ.”
අම්මා කෙනෙක් වෙන්න තරමක් කල් ගියා වගේ නේද?
”හැම දේකටම හොඳම කාලය එන්න ඕනෑනේ. ඒ කාලය පුරා අපි අපේ ජීවිතයේ බොහෝ දේවල් ගොඩනගා ගත්තා. ඉටුකර ගත්තා. ඒ වගේම ජීවිතය සුන්දරව විඳගත්තා. ගිය අවුරුද්දේ ඉඳලා තමයි දරුවෙක් ගැන උනන්දු වෙන්න ගත්තේ.”
පුතාගේ වැඩ කටයුතු තනියෙන් කරගන්න දැන් මංජුලාට පුළුවන්ද?
”ඒ දේවල් නුහුරු දේවල් උනත්, ඒ නුහුරු හැම දෙයක්ම හිතට සතුටක් එක්කරන දේවල් නිසාද කොහෙද, මේ දවස් ටිකට මට ඒ හැම දෙයක්ම පුරුදු වෙන්න පුළුවන් වුණා. ඒත් පුතාගේ වැඩවලට මට උදවු කරන්න මගේ අම්මායි, ආච්චි අම්මයි දෙන්නම මගෙ ළඟ ඉන්නවා.”
පුතාගේ ඒ වැඩ වලින් තාමත් මංජුලාට නුහුරුයි කියලා දැනෙන්නේ මොනවද?
”ම්... එහෙම බැලූවොත් පුතාව නාවගන්න එක කමයි නුහුරු. ඒක නුහුරු කමක්මත් නෙමෙයි. හිතට බයයි වගේ හැඟීමක්.”
කොහොමද පුතාගේ වැඩට සැමියාගෙන් ලැබෙන සහාය?
”අනේ එයත් පුළුවන් හැම උදව්වක්ම කරනවා. රෑට නැගිටලා දඟලන්න ගත්තහම අපි දෙන්නම තමයි එකතුවෙලා නලවා ගන්නේ. ඒ නිසා අපි දෙන්නටම දැන් රෑට නින්දක් නෑ. ඒත් මේ දේවල් අපි ආසාවෙන් කරන්නේ.”
එහෙනම් පුතා අඬන වෙලාවට මංජුලා ගේ දරුනැලවිලි ගීත එහෙමත්, ඔයාලගේ ගෙවල් පැත්තෙන් දැන් ඇහෙනවා ඇතිනේද?
”ඔව්... ඔව්... ඒවටත් මම පුරුදු වෙලාමයි හිටියේ.”
හොඳයි එහෙනම් කියන්නකෝ ඔයා පුතාව නලවන්න මේ දවස්වල වැඩිපුරම කියන නැලවිලි ගීතය මොකක්ද කියලා?
(සිනාසෙමින්) ”වැඩිපුරම කියවන්නේ දොයි... දොයි... දොයි.. දොයිය බබා කියලා තමයි.”
(lankadeepaP)
EmoticonEmoticon