මලික් සමරවික්‍රම මහතාගේ අත්සනින් යුතුව අද (26) මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.
පසුගිය ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයේ දී එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ප්‍රකාශ කළේ මෙරට නව දේශපාලන සංස්කෘතියක් හා ශීලාචාර පාලන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන බව ය.
ඒ සඳහා අවම වශයෙන් වසර දෙකක කාලයකට හෝ ජාතික ආණ්ඩුවක් බිහි කරන බව ද, අපි පැවසූවෙමු. ඒ අනුව යමින් ශ්රීජ ලංකා නිදහස් පක්ෂ ය සමග ගිවිසුමක් ද පසුගිය දා අත්සන් කළෙමු.
ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ය සමග ඉතා සුහද හා ගැඹුරු ලෙස සාකච්ඡා පැවැත්වීමෙන් පසුව දැන් එකඟත්වයකට පැමිණ ඇත්තෙමු.
මෙහිදී අප දෙපාර්ශ්වයේම මූලික අරමුණ වූයේ ජනතාවට සේවය කිරීමයි. සාම්ප්‍රදායික දේශපාලන චින්තනයන්ගෙන් වියුක්තව, දේශයේ අනාගතය පෝෂණය කළ හැකි ක්‍රියාවලියකට අපි එක් වූයෙමු. ඇමති තනතුරු හා වරප්‍රසාදවලට නොව මාතෘ භූමිය යළි ඉහළට ඔසවා තැබීමේ ව්‍යායාමයට අපි මුල් තැන දුන්නෙමු.
මෙහිදී අප දෙපාර්ශ්වයටම කැප කිරීම් කරන්නට සිදු විණි. එහෙත් ඒ සියළු කැපකිරීම් අප කළේ දේශයේ උන්නතිය පෙරදැරි කර ගනිමිනි. නව අමාත්‍ය මණ්ඩලය, නව පාර්ලිමේන්තුව සමග අපි මාස හැටකින් අලූත් රටක් හදන අභියෝගාත්මක ගමන සාර්ථක කර ගැනීම සඳහා ඇප කැපවී කටයුතු කරන්නෙමු.
මේ අතර අමාත්‍යංශ හා නියෝජ්‍ය අමාත්‍යධූර ප්‍රධාන පක්ෂ දෙක අතර බෙදාගැනීම සම්බන්ධයෙන් මේවන විට අර්ධ වශයෙන් එකඟතාවකට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ශ්‍රීලනිපයට මහාමාර්ග, උසස් අධ්‍යාපන,වාරිමාර්ග, කෘෂිකාර්මික හා සමෘද්ධි අමාත්‍යංශ ලබාදීමට මූලික සාකච්ඡාවලදී එකඟවී ඇතැයි සඳහන්ය.
මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයද ශ්‍රීලනිප නියෝජිතයින් විසින් ඉල්ලා ඇතත් එය ලබාදීමට එජාපයේ වගකිවයුත්තන් එකඟවී නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
(adaderana)

EmoticonEmoticon