මහින්ද කුරුණෑගලට ඇවිල්ලත් ඡන්ද 82,741ක් අඩුයි

10:18 AM
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පසුගිය මහ මැතිවරණයට තරඟ කළේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එම මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට හැකිව තිබූ බව කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් තරඟ කළ නිසා බලාපොරොත්තු වූ තරම් ජයග්‍රහණයක් නොලැබුණු බව හෙතෙම පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා සැලකුවේ කිහිප දෙනෙකුට පමණක් බවත්, එයාගේ පවුලේ උදවියට හම්බන්තොටින් දිනන්න දී ඔහු කුරුණෑගලට ආ බවත්, හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ඉරණම අත් වූයේ මහින්ද රාජපක්ෂගේ ක‍්‍රියාමාර්ග නිසා බවද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කොන් කළ බවද හෙතෙම පැවසීය.
රාජපක්ෂ මහතා එ.ජා.පයෙන් පැනපු අයට හොද අමාත්‍යංශ දුන් බවත්, මහින්ද ආවා කියා කුරුණෑගල ඡන්ද වැඩි වුණේ නැති බවත්, ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද අසූදහසකින් ජයග්‍රහණය කළ කුරුණෑගල දිස්ත්‍රීක්කයට මහමැතිවරණයේදී එම ඡන්ද ප්‍රමාණය ද ගත නොහැකි වූ බවත්, ඔහු කියා සිටියේය.

“පහුගිය කාලේ ඇතිවෙච්ච මේ වර්ගවාදී තත්ත්වය නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් බහුතරයක් පරාජයට පත්වෙලා සන්ධානයේ සෙසු පක්ෂවල සාමාජිකයෝ තමයි අද මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරලා තියෙන්නේ. 2015 ජනාධිපතිවරණයේදී එතුමාට අපි කුරුණෑගලින් ඡන්ද 556,868 ක් අරන් දෙනවා. හැබැයි එතුමා පාර්ලිමේන්තු මැතිවරණේදී කුරුණෑගලට ඇවිල්ලා , සක‍්‍රීය දායකත්වයත් දීලා ලැබෙන්නේ ඡන්ද 474,127 යි. ඒ කියන්නේ එතුමා මෙහාට ඇවිල්ලත් ඡන්ද 82,741 ක් අඩුයි. ඒකෙන්ම පැහැදිලියි එතුමා මෙහාට ආවා කියලා දේශපාලන වශයෙන් ලොකු ප‍්‍රගතියක් අත්පත්කරගන්න අපිට ලැබුණේ නෑ. අර කොත්තු රොටිය ගහනවා වගේ මේකේ තියෙන මනාප ටික එහාට මෙහාට බෙදලා, මහින්ද රාජපක්ෂ මැතිතුමාට පක්ෂග‍්‍රාහී, එතුමා වඩාත්ම ප‍්‍රියමනාප චරිතවලට මනාප ඡන්ද ලබාදීම සඳහා එතුමාගේ මෙහෙයුම් කාර්යාලයෙන් ගෙනිච්ච ඉතාම සංවිධානාත්මක වැඩ පිළිවෙළත් එක්ක තමයි මේ තත්ත්වය උද්ගත වුණේ. මේ ගැන අපිට ඉතාම කනගාටු වෙනවා.“ යැයි ඔහු පැවසීය.
(derana)

Share this

Related Posts

Previous
Next Post »