වකුගඩු රෝගයට පිළියම් හොයන්න ජනපති ජාත්‍යන්තර සහය පතයි

9:41 PM
ශ්‍රී ලාංකීය ගොවි ජනතාව මුහුණදී සිටින ඉතා ඛේදනීය ඉරණමක් වු වකුගඩු රෝගයෙන් එම ජනතාව බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර සහය අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකාවට හිතැති සියලූ මිත්‍ර රාජ්‍යවල සහය ඒ සඳහා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ විදෙස් රටවල තානාපතිවරුන් සමග අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනි.

දැනට ප්‍රදේශ රැසක 40,000 ක පමණ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුව සිටින බවත්, රෝගය හේතුවෙන් දහසක පමණ පිරිසක් වාර්ෂිකව මිය යන බවත්,මෙම තත්ත්වයට ප්‍රමුඛ හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ ජනතාවගේ පානීය ජල ගැටළුව බවත්  ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රෝගයට ගොදුරු වූවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා දිවයින පුරා සියලූ රෝහල්වල පහසුකම් ඉහළ නංවමින් කටයුතු කළද වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළයාම හේතුවෙන් ගැටළු මතුවී ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
 
මේ සඳහා ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට තානාපතිවරුන් එම අවස්ථාවේම සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වකුගඩු රෝගය ඇතිවීමට මූලිකවන කරුණු පිළිබද වැඩිදුරටත් පරික්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකාවට සහය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් මෙම හමුවට එක්වූ නියෝජිතයා පැවසූ බවත්, ශ්‍රී ලංකාවේ පානීය ජල ව්‍යාපෘති සඳහා ලබාදෙන ආධාර ඉදිරියේදී තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බව යුරෝපා සංගමය නියෝජනය කරමින් සහභාගීවූ නියෝජිතවරයා  පැවසූ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.

ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා , පොල්ගහවෙල, කුණ්ඩසාලේ සහ කළුතර පානීය ජල ව්‍යාපෘති සඳහා සහය ලබාදීමට අපේක්ෂා කරන බව දැන්වූ බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයට ගොදුරුවූවන් 60,000 ක් වෙනුවෙන් ආධාර ලබාදීමට ජපන් රජය එකඟතාවය පළ කළ බවත් සඳහන්ය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකරමින් උතුරු පළාතේ ලක්ෂයකට ජලය සපයාදිය හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සහය ලබාදෙන බව ඕස්ටේලියානු තානාපතිවරිය මෙහිදී සඳහන් කළ බව මාධ්‍ය ඒකකය වැඩිදුරටත් කියා සිටියි.

කෙසේ වෙතත් අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රවුෆ් හකීම්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන්ද විදේශ රටවල් රැසක තානාපතිවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ada derana)

Share this

Related Posts

Previous
Next Post »